2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Friday 21 January 2011

කලාකරුවනි.... දේශපාලනඥයන් සමග ගනුදෙනු කරද්දී ප්‍රවේශම් වෙන්න...! ප්‍රවීණ රංගන ශිල්පි සිරිල් වික්‍රමගේ

Author: අජිත් අලහකෝන්
Date:21/01/2011
Source:Divaina




ඔහු සිනමාව නමැති අම්බරයේ පායා දිලෙන තරුවක්‌ නොවේ. එහෙත් ප්‍රතිභාවෙන් ප්‍රභාව දක්‌වන නළුවෙකි. තරුවකට අවශ්‍ය සුදුසුකම් නොපිරුවද නළුවෙකුට අවැසි ගුණාංග සහ දස්‌කම්වලින් ඔහු පරිපූර්ණය. සත්සමුදුර, සුද්දිලාගේ කතාව පමණක්‌ ඊට සාක්‍ෂි ලෙස සෑහේ.

සිරිල්..., සිරිල් වික්‍රමගේ ප්‍රධාන චරිතයක්‌ රඟපාමින් සිනමාවට පා තැබුවේද "සත්සමුදුර" ඔස්‌සේය.

කුරුණෑගල කොහිලගෙදර ගමේ 1932 ජනවාරි 26 දා ඔහු උපන්නේය. ඒ හරියටම මීට වසර හැත්තෑ නවයකට පෙරාතුව දිනයකි. පියා චාර්ල්ස්‌ වික්‍රමගේ ගැමි කලාකරුවකු වීම නිසාම කුඩා කල පටන් සිරිල්ගේ සිත කවි සහ ගීත කෙරෙහි ඇදී ගියේ නිරායාසයෙනි.

හේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. රත්මලාන බිහිරි විද්‍යාලයේ සහ කොළඹ වෙස්‌ලි විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කරන කාලයේදීම ප්‍රසිද්ධ වේදිකාවටද පිවිසියේය.

ෆීලික්‌ස්‌ ප්‍රේමවර්ධන ශිල්පියා යටතේ වේදිකාවට ආ ඔහු ශ්‍රී ජයනාගෙන් නැටුම් ඉගෙන ගත්තේය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්, බැසිල් මිහිරිපැන්න, අයිලින් සරච්චන්ද්‍ර යන අය ඇසුරට පෙළැඹිණි.

සිසිර සේනාරත්නගේ ඇරයුම මත පළමුවරට චිත්‍රපට කැමරාවකට මුහුණ දුන්නේය. ඒ "හඳපානය". එය සුළු චරිතයකි. ඊට පෙර ගුණසේන ගලප්පත්තිගේ "මූදුපුත්තු" වේදිකා නාට්‍යයේද දස්‌කම් දැක්‌වූවේය.

වෙස්‌ගත්තෝ, වල්මත්වූවෝ, බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ, සුද්දිලාගේ කතාව, මොකද වූණේ, සිහින ලොවක්‌, හත්දින්නත් තරු, අහස්‌ ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්‌, සෙලීනාගේ වලව්ව, පරසතුරෝ, මංගල තෑග්ග, මුහුදු ළිහිණි, පොඩි විඡේ සිරිල් සත්සමුදුරෙන් එතෙර වූ පසු රඟපෑ චිත්‍රපට කිහිපයකි.

නුඹ නාඩන් සෙනෙහෙලතා, පළිඟු මැණිකේ, ගව්වෙන් ගව්ව, ඇල්ල ළඟ වලව්ව, අඳුකොල වැනි ටෙලි නාට්‍ය රැසකද රඟපෑ සිරිල් වික්‍රමගේ "සිහින ලොවක්‌" සහ "කරදිය වළල්ල" යන චිත්‍රපට දෙකේ අධ්‍යක්‍ෂවරයකු ද විය.

දිගු කලකට පසු "දිවයින" සිනමා කලා සංග්‍රහය සමග සිරිල් වික්‍රමගේ ප්‍රතිභාපූර්ණ කලාශිල්පියා එක්‌විය. එළැඹෙන 26 වැනිදා හැත්තෑ නව වැනි උපන්දිනය සමරන සිරිල් වික්‍රමගේ සමග කළ සාකච්ඡාව මතු පෙළගස්‌වමු.

ඔබ රංගනයට පිවිසිsයේ අපේ සිනමා අඹරේ තරු පායා දිලෙන කාලෙක. ඒත් ඔබ තරුවක්‌ නොවුණේ ඇයි?

තරුවකට විශේෂ ලක්‍ෂණ තියෙනවා. ඉතින් ඒ ලක්‍ෂණ මා තුළ නැහැ. මම නළුවෙක්‌ විතරයි. එදා තරුවල කඩවසම් බව තිබුණා. ඒ නිසා "කොල්ලා" කියන වචනය ඒ අයට භාවිත කළා. මම කොල්ලා වුණේ නැහැ. රංගන ශිල්පියෙක්‌ විතරක්‌ වුණා.

අද අපේ සිනමාවේ තරු සිටිනවාද?

අද තරු නැහැ. තරු තියෙන්න සිනමාවක්‌ තියෙන්න එපා යෑ. සිනමාවටත් අද තරු පෙනිලා තරු තියෙන්නේ දීප්තියෙන් බැබළෙන අහසේ. ප්‍රේක්‍ෂකයන් තරුවලට ආදරෙයි. තරුවක්‌ බවට පත්වුණේ බාහිර ලක්‍ෂණ, වීරත්වය වැනි කරුණු උඩයි. තරුව මොනවා කළත් පිළිගන්නවා. ඉන්දියාවේ තමයි තරු සංකල්පය හුඟාක්‌ම තියෙන්නේ. අපේ රටේ තරුවලට වඩා චරිතාංග නළුවො මතු වුණා.

සිංහල සිනමාවේ ජනප්‍රිය නළුවෙක්‌ වෙන්න රූමත් පෙනුම අවශ්‍යම කාලයක්‌ තිබුණා නේද?

එහෙම කාලයක්‌ තිබුණා. ඒත් ජනප්‍රිය නළුවෙක්‌ වෙන්න රූමත්කම ඕනෑ නැහැ. ඕවා ඉතින් ඒ දවස්‌වල වට්‌ටෝරු සිනමාවක තිබිය යුතු අංගනේ. ඒ කාලේ ඉතින් මේ අංගලක්‍ෂණ තිබිය යුතුයි කියලා සම්මතයක්‌ තිබුණා. කතාව, ප්‍රේමය, ගීතය, නැටුම්, සටන්, දුෂ්ටයන් චිත්‍රපටයකට ඒ කාලේ අවශ්‍යම කොටස්‌. ඒක තමයි වට්‌ටෝරු සිනමාව. ඒක තමයි එදා තිබුණු ක්‍රමය. ඒත් හැත්තෑවේදී මේ තත්ත්වය නැතිවුණා. ඒ චරිතාංග නළුවෝ ඉස්‌මතුවීමත් සමගින්.

ඔබ ගුරුවරයෙක්‌. ගුරුවරයෙක්‌ ලෙස දරුවන්ට ඉගැන්වීමෙන්ද නැතිනම් නළුවෙක්‌ ලෙස රසිකයන් පිනවීමෙන්ද වඩාත් සතුටක්‌ ලැබුවේ .......?

මම ඔය දෙකෙන්ම සතුටු වුණා. විශ්‍රාම යනතුරු ගුරු වෘත්තිය කළා. නළුවෙක්‌ වුණා කියලා ඒ රැකියාව අතහැරියේ නැහැ. ගුරුවරයෙක්‌ ලෙස දරු පරපුර සමග තෘප්තිමත්ව කටයුතු කළා. ඒ වගේම සිනමාවටත්, නාට්‍යයටත් මම ආදරෙයි.

ගුරු වෘත්තියෙන් රංගනයට ආ ඔබ පසුව දේශපාලනයටත් පිවිසියා. අද ඔබ ඉන්නේ කෙබඳු තැනකද?

(සිනාසේ) අද ඉතින් මම කොහොමත් ඉන්නේ විශ්‍රාමික ගුරුවරයෙක්‌ විදිහට. මම ජාතික සංවිධානවල ඉන්නවා. දේශපාලනය කියන්නේ ආවාට ගියාට කරන දෙයක්‌ නොවේ. මේ බිමට, ජනතාවට ආදරය කරන නිසා තමයි මම දේශපාලනයට ආවේ. අප කරන්නේ කුමක්‌ද කියා පළමුව තෝරා බේරා ගත යුතුයි. දේශපාලනයෙන් මම ශත පහක්‌ හම්බ කරලා නැහැ. මා එය කළේ ජාතික කර්තව්‍යයක්‌ ලෙසයි. විටින් විට රටේ ඇතිවන ප්‍රශ්න මත සුදුසු කාලයේදී මම දේශපාලන කටයුතුවලට ඇතුළු වුණා.

කලාවට සේවය කරන බව කියමින් දේශපාලනයට එන කලාකරුවන්ගෙන් සිදුවූ සේවාවන් ගැන සෑහෙන්න පුළුවන්ද?

මට හිතෙන විදිහට කලාවට සේවය කරනවා කීවාට ඒ අයගෙන් සිදුවූ සේවයක්‌ නැහැ. මම එහෙම සේවාවක්‌ දැකලත් නැහැ. දේශපාලකයන් එක්‌ක කලාකරුවා ගනුදෙනු කළ යුත්තේ බොහොම ප්‍රවේශමෙන්. දේශපාලකයන් බොහෝ දෙනෙක්‌ කලාකරුවන් භාවිත කරනවා. ඒත් වැඩක්‌ ගත්තට පස්‌සේ අලුයම ලූ කෙළ පිඬ වගේ විසිකරනවා.

අපි නැවත ඔබේ රඟපෑම් දෙසට හැරෙමු. පසුතැවිලි විය හැකි චරිත ඔබ රඟපා තිබෙනවාද?

කවදාවත් නැහැ. පසුතැවිලි වන චරිත මම භාරගන්නෙත් නැහැ. මම කරන කාර්යය මොකද්ද කියලා හොඳින් තේරුම් අරගෙන තමයි කරන්නේ. පිටපත කියවලා සුදුසුනම් තමයි චරිතයක්‌ තෝරා ගන්නේ.

දක්‍ෂ රංගන ශිල්පීන් වයසට යන්නේ නැහැ. ඒත් ඔබ ....... විටෙක හිතෙනවා කලාවෙන් විශ්‍රාම අරගෙනවත්ද කියා ....

මම කලාවෙන් ඈත් වෙලා නැහැ. මම කලින් කිව්වනේ අපිට කළ හැකි චරිත තිබේද කියා. එහෙම චරිත ආවොත් කරනවා. පසුතැවිලි වෙන්න නම් මම චරිතවලට යන්නේ නැහැ. ඒ වගේම මම විශ්‍රාම යන්නෙත් නැහැ.

ඔබ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්‌. යළිත් චිත්‍රපටයක්‌ කරන්න හිතක්‌ නැද්ද?

අපෝ නෑ ...... මම අධ්‍යක්‍ෂණයෙන් ඉවත් වුණා. දෙවැනි චිත්‍රපටයෙන් පස්‌සේ මම දැඩි කලකිරීමකට පත් වුණා. ඒ නිසා ඒ කාර්යභාරයෙන් මම ඈත් වෙලා ඉන්නේ.

ඔබ කලාවට පිවිසිලා අවුරුදු පනස්‌ පහයි ඔබෙන් වූ සේවය ඇගයීමකට ලක්‌ නොවීම ගැන?

එහෙම දෙයක්‌ නම් කෙරිලා නැහැ. ළඟදී ඒ කියන්නේ 26 වැනිදා දේශහිතෛෂී ව්‍යාපාරයෙන් ඇගයුමක්‌ කෙරෙන බව දැනගත්තා. ඇගයුමක්‌ නොලැබීම ගැන මගේ හිතේ වැඩි කලකිරීමකුත් නැහැ. මට එහෙම දෙයක්‌ හැඟුණේ නැහැ. මගේ කාර්යභාරය මම කලාව වෙනුවෙන් කළා.

ඉතා සුළු සංඛ්‍යාවක්‌ වුණත් ඔබ දායක වූ චිත්‍රපට ඉතා උසස්‌. එවැනි නිර්මාණ සහ අද හැදෙන නිර්මාණ සැසඳීමක්‌ කළොත්?

ඇත්තටම කනගාටුදායකයි. හැට හැත්තෑව දශකවල නිර්මාණය වූ චිත්‍රපටවලට හුඟක්‌ හොඳ ආයෝජකයෝ හිටියා. මේ අර්බුදය ඇති වුණේ විවෘත ආර්ථිකයත් සමඟින්. පෙර කී හොඳ ආයෝජකයන් විවෘත ආර්ථිකය යටතේ ක්‍ෂණික ලාභ ලබන මහා ව්‍යාපාරවලට යොමු වුණා. චිත්‍රපටයක්‌ කළොත් ප්‍රතිලාභ ලැබෙන්න ඒ අයට අවුරුදු ගණනක්‌ බලා ඉන්න වුණා. ඒනිසා වෙනත් ලාභ ලබන ව්‍යාපාරවල ආයෝජනය කළා. ඉන්පසු රූපවාහිනිය වැනි දේ සමගත් ප්‍රේක්‍ෂකයා සිනමා ශාලාවෙන් ඉවත් වුණා. තවමත් ප්‍රමාණවත් ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක්‌ නැහැ. ඒනිසා බොහෝ අය අපරදිග රටවලට නිර්මාණ කළා. සම්මාන ගත්තා. අතිවිශිෂ්ටයි කියලා ප්‍රචාරය ලබාගත්තා. ඒත් කර්මාන්තයට සිදුවූ දෙයක්‌ නම් නැහැ.

ඔබ අද ආර්ථික හා මානසික මට්‌ටමින් ශක්‌තිමත් තැනකද ඉන්නේ?

මම හැමවිටම තෘප්තිමත්. කම්පාවක්‌ නැහැ. ලැබෙන දෙයින් සතුටු වෙනවා. සුඛෝපභෝගී ජීවිතයක්‌ මට නැහැ. මට ඕනෑ නම් බස්‌ එකෙන් යන්න පුළුවන්. පයිනුත් යනවා. බිම වුණත් නිදාගන්නම්. මම ගමේ ගොවිමහත්තයෙක්‌ගේ පුතෙක්‌. මඩත් ගොඩත් මට හොඳට පුරුදුයි. ඒනිසා මම බලාපොරොත්තු තබාගෙන ජීවත්වන්නේ නැහැ. ඒනිසා ඉටු නොවුණු බලාපොරොත්තුවකුත් නැහැ.

සිරිල් වික්‍රමගේ ප්‍රතිභාපූර්ණ චරිතාංග නළුවා මෙම 26 වැනිදා උපන්දිනය සමරන මොහොතේ අපද ඔහු සමඟින් සිsටින්නෙමු. සිරිල් වික්‍රමගේ කලාකරුවාණනි සුබ උපන්දිනයක්‌ ..... චිරං ජයතු ....!